ගල්කිස්සේදී පැහැරගත් දරුවා කප්පම් දී බේරා ගනී

, by Sri Lanka Youth News


රුපියල් ලක්‍ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා ඊයේ පැහැරගෙන යනු ලැබූ කොළඹ ප‍්‍රසිද්ධ පාසලක පිරිමි දරුවෙකු සිය පියා විසින් කප්පම් මුදල ලබාදීමෙන් පසුව බේරාගෙන තිබේ.
ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ, රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා ගල්කිස්ස ටෙම්පලර් පාරේ නිවසකට ඊයේ (25) සවස කඩා වැදී ඇති ආයුධ සන්නද්ධ සැකකරුවන් දෙදෙනකු විසින් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්  බවට 119 හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබුණු බවයි. ඒ අනුව,පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස - ටෙම්පල්ස් පාරේ පිහිටි මෙම නිවසට ගොස් ඇත.

පැහැර ගැනීමට ලක් වූ දරුවා කොළඹ ප්‍රධානතම ජාතික පාසලක 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
කප්පම්කරුවන් සවස 3.30 ත් 4.00 ත් අතර වේලාවේදී වෑන් රථයකින් පැමිණ මෙසේ දරුවා පැහැරගෙන ගොස් තිබේ.
මේ දරුවාගේ මව වෛද්‍යවරියක් වන අතර පියා වෙළෙඳ විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කරයි.
තමන් යුද හමුදාවෙන් නිවස පරීක්ෂා කළයුතු බව පවසා කප්පම්කරුවන් දෙදෙනා නිවසට ඇතුළු වී දරුවාගේ මවට තර්ජනය කර ඇයව පුටුවකට තබා අතපය ගැට ගසා කටේ ප්ලාස්ටර් අලවා  දරුවා පැහැර ගැනීම කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරුව ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන්නේ නම් දරුවා නිදහස් කරන බව කප්පම්කරුවන් විසින් පවසා ඇත. කප්පම්කරුවන් දුරකතන පණිවිඩ මගින් ද කප්පම් මුදල ඉල්ලා ඇති බව වාර්තාවේ.
කප්පම්කරුවන් දරුවාගේ මවට පිහියක් සහ ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීම කර ඇති බවත් නිවසේ දුරකථන ද විසන්ධි කර ඇති බවත් වාර්තාවේ.
දරුවාගේ පියා පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන්නේ රුපියල් දෙලක්‍ෂ 90,000 ක මුදලක් කප්පම්කරුවන්ට ලබා දී දරුවා නිදහස් කරගෙන ඇති බවයි. දරුවාගේ ආරක්‍ෂාව සඳහා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසියට නොකරන බවද පියා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රි වන විටත් ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාල මහතා ඇතුළු නිලධාරීහු පුළුල් පරීක්ෂණ මෙහෙයවමින් සිටියහ.

0 comments: